විපරීත රාජ යෝගය: 6, 8, 12 කොටු වලින් ජීවිතය ජයගන්නා හැටි

විපරීත රාජ යෝගය: 6, 8, 12 කොටු වලින් ජීවිතය ජයගන්නා හැටි

ඔබේ කේන්දරයේ 6, 8, 12 කොටු වල ග්‍රහයෝ පිරිලාද? බිය විය යුතු නැත - ඔබව රජ කරවන "විපරීත රාජ යෝගයේ" සැබෑ රහස මෙන්න.

කේන්දරයක් පරීක්ෂා කරගැනීමේදී බොහෝ දෙනෙකු තම ග්‍රහයන් කේන්දරයේ 6, 8 සහ 12 යන ස්ථාන වල සිටිනවා දුටු පමණින්ම දැඩි බියකට හා කනස්සල්ලකට පත්වේ. ජ්‍යොතිෂයේදී මෙම ස්ථාන ත්‍රිත්වය "දුෂ්ට ස්ථාන" ලෙස හඳුන්වා තිබීම මීට ප්‍රධානතම හේතුවයි. සාමාන්‍යයෙන් හයවැන්නෙන් රෝග, සතුරන්, ණය බර සහ නඩුහබ නියෝජනය වේ. අටවැන්නෙන් හදිසි අනතුරු, මරණය, සහ ජීවිතයේ සිදුවන හදිසි බිඳවැටීම් පෙන්වා දෙයි. එසේම දොළොස්වැන්නෙන් අධික වියදම්, විනාශය සහ සිරගතවීම් ආදිය නිරූපණය කෙරේ. මෙවැනි අසුබ දේවල් නියෝජනය කරන කොටු වලට ග්‍රහයන් ගිය විට අසුබ ඵල ලැබෙනවා යැයි සිතීම සාධාරණය.

නමුත්, පැරණි වෛදික ඍෂිවරුන් විසින් පෙන්වා දී ඇති, එහෙත් බොහෝ දෙනෙකු නොදන්නා ගැඹුරුම සත්‍යයක් තිබේ. එනම්, මෙම දුෂ්ට ස්ථාන තුළින්ම කෙනෙකුගේ ජීවිතය කිසිවෙකුත් නොසිතන අයුරින් සමාජයේ ඉහළම තලයකට ඔසවා තැබිය හැකි බවයි. මෙය පැරණි ජ්‍යොතිෂ ග්‍රන්ථ වල හැඳින්වෙන්නේ "විපරීත රාජ යෝගය" (Viparitha Raja Yoga) ලෙසිනි.

මෙම යෝගය නිර්මාණය වන්නේ කෙසේදැයි සරලව තේරුම් ගනිමු. ගණිතයේදී ඍණ අගයන් දෙකක් එකිනෙක ගුණ කළ විට එහි පිළිතුර ධන අගයක් බවට පත්වන බව ඔබ දන්නවා ඇති. විපරීත රාජ යෝගය ක්‍රියාත්මක වන්නේද මේ න්‍යායෙන්මය. එනම්, කේන්දරයේ දුෂ්ට ස්ථාන ලෙස සැලකෙන 6, 8 සහ 12 යන ස්ථානවල අධිපතියන්, තමන්ටම අයත් එම ස්ථානයකම බලවත්ව පිහිටීම හෝ එම දුෂ්ට ස්ථාන තුනෙන් වෙනත් ස්ථානයකට මාරු වී තැන්පත් වීමයි. මෙහිදී අසුබ ස්ථානවල බලපෑම එකිනෙක ගැටී හෝ අසුබස්ථානයක තනි බලයක් ගොඩනැගී අසුබ තත්ත්වය සම්පූර්ණයෙන්ම විනාශ වී අතිශය සුබදායක රාජ යෝගයක් නිර්මාණය වේ.

විපරීත රාජ යෝගයේ ප්‍රධාන ප්‍රභේද 3

මෙම ප්‍රබල යෝගය ප්‍රධාන වශයෙන් ආකාර තුනකින් කේන්දරයක නිර්මාණය විය හැක.

1. හර්ෂා විපරීත රාජ යෝගය (Harsha Yoga)

ඔබේ කේන්දරයේ 6 වෙනි භාවයට අධිපති වන ග්‍රහයා ගොස් 6 වෙනි භාවයේ, 8 වෙනි භාවයේ හෝ 12 වෙනි භාවයේ තැන්පත්ව සිටීමෙන් මෙම හර්ෂා යෝගය නිර්මාණය වේ. හයවැන්න සතුරන්ට සහ රෝග වලට අදාළ වන බැවින්, මෙම යෝගය හිමි අයගේ සතුරන් කොතරම් ප්‍රබල වුවත්, ඒ සතුරන් ස්වභාවිකවම විනාශ වී යයි. කිසිදු නඩුහබයකින් හෝ තරඟකාරී ව්‍යාපාරික ගැටුමකින් මොවුන්ව පරාජය කළ නොහැක. මොවුන්ට අභියෝග පැමිණෙන තරමටම මොවුන් මානසිකව ශක්තිමත් වේ. එසේම නිදන්ගත රෝගාබාධ වලින් සුවය ලැබීමටත්, නිරෝගී ශක්තිමත් දේහයක් හිමිකර ගැනීමටත් මෙම යෝගය හේතු වේ. බොහෝවිට නීති අංශ, වෛද්‍ය අංශ හෝ ආරක්ෂක අංශ වැනි ක්ෂේත්‍රවල ඉහළම තනතුරු වලට පත්වීමේ භාග්‍යය මෙන්ම, හිතුවෙවත් නැති විදිහට සමාජයේ ඉහළ පිළිගැනීමක් සහ හදිසි ධන ලාභ හිමිවීමේ වාසනාව මොවුන්ට පවතී.

2. සරලා විපරීත රාජ යෝගය (Sarala Yoga)

කේන්දරයේ 8 වෙනි භාවයට අධිපති වන ග්‍රහයා 6 වෙනි භාවයේ, 8 වෙනි භාවයේ හෝ 12 වෙනි භාවයේ තැන්පත්ව සිටීමෙන් සරලා යෝගය නිර්මාණය වේ. අටවැන්න යනු ආයුෂ ස්ථානය මෙන්ම ජීවිතයේ කඩාවැටීම් හා බාධක ස්ථානයයි. එහෙත් සරලා යෝගය යෙදුණු විට, ජීවිතයට කොතරම් දැවැන්ත අනතුරු හෝ ව්‍යසන පැමිණියත් පුදුමාකාර ආකාරයෙන් ඉන් බේරීමේ භාග්‍යය සහ දීර්ඝායුෂ හිමිවේ. මොවුන් අර්බුදකාරී අවස්ථාවලදී කිසිවිටෙකත් කලබල නොවන අතර, ඉතා තියුණු සහ ගැඹුරු බුද්ධියක් මොවුන්ට පිහිටයි. පර්යේෂණ, ගුප්ත විද්‍යා, සහ අලුත් සොයාගැනීම් වලට මොවුන් අති දක්ෂය. සරලා යෝගය හිමි අයට පාරම්පරික දේපළ හිමිවීම්, රක්ෂණ වන්දි මුදල්, ලොතරැයි වැනි හදිසි ධනය පහසුවෙන් අත්පත් කරගැනීමේ හැකියාව ලැබෙන අතර අනුන්ගේ ධනය තමන් වෙත ආකර්ෂණය කරගැනීමේ විශේෂ බලයක් මොවුන් සතුවේ.

3. විමලා විපරීත රාජ යෝගය (Vimala Yoga)

කේන්දරයේ 12 වෙනි භාවයට අධිපති වන ග්‍රහයා 6 වෙනි භාවයේ, 8 වෙනි භාවයේ හෝ 12 වෙනි භාවයේ තැන්පත්ව සිටීමෙන් විමලා යෝගය යෙදේ. දොළහ යනු වියදම් සහ මෝක්ෂ ස්ථානය වුවත්, මෙම යෝගය බලපැවැත්වෙන විට අදාළ පුද්ගලයාගේ අනවශ්‍ය වියදම් සියල්ල පාලනය වී ධනය ඉතිරිවීමට පටන් ගනී. මෙම යෝගය හිමියන් බොහෝවිට තමන් උපන් බිමෙන් බැහැරව දුර පළාතක හෝ විදේශ රටවල ස්ථාවර වන අයයි. විදේශ රැකියා, ආනයන අපනයන ව්‍යාපාර, හෝ අන්තර්ජාලය හරහා විදේශීය මූලාශ්‍ර වලින් විශාල ධනයක් සහ සාර්ථකත්වයක් අත්කර ගැනීමට මෙම යෝගය ප්‍රබලව බලපායි. මොවුන් ඉතා යහපත් ගතිගුණ ඇති, සමාජ සේවා සහ පුණ්‍ය කටයුතු වලට ළැදි පිරිසක් වන අතර, ඉහළම සැපපහසුකම් වලින් පිරි සුඛෝපභෝගී ජීවිතයක් ගතකළද මානසිකව නිදහස් සහ සන්සුන් ජීවිතයක් ගත කිරීමේ භාග්‍යය මොවුන්ට හිමිවේ.

පරාශරයන්ට අනුව නියම විපරීත රාජ යෝගයක් සම්පූර්ණ වීමට අත්‍යවශ්‍ය කරුණු කිහිපයක්

1. ත්‍රික භාවාධිපතියන්ගේ හුදකලාව

මෙය පරාශරයන් පෙන්වා දෙන ප්‍රබලතම නියමයයි. මෙම යෝගය සෑදෙන 6, 8, 12 අධිපතියන් සමඟ කිසිදු අවස්ථාවක කේන්ද්‍රස්ථාන හෝ ත්‍රිකෝණස්ථාන අධිපතියන් සංයෝග වීම හෝ දෘෂ්ටි හෙළීම නොවිය යුතුය. එසේ සුබ ග්‍රහයෙකු සම්බන්ධ වුවහොත්, එම සුබ ග්‍රහයා දුෂ්ට බලපෑමට හසුවී යෝගය භංග වී යයි.

2. අන්‍යෝන්‍ය සම්බන්ධය (පරිවර්තන බලය)

යෝගයේ උපරිම බලය ක්‍රියාත්මක වීමට නම් 6, 8, 12 අධිපතියන් එකිනෙකාගේ ස්ථාන මාරු කරගෙන සිටීම ,පරිවර්තන යෝග - උදා: 6 අධිපතියා 8 සහ 8 අධිපතියා 6, එක් දුෂ්ට ස්ථානයක් තුළම දෙදෙනෙකු සංයෝග වීම හෝ එකිනෙකාට දෘෂ්ටි හෙළීම සිදුවිය යුතුය.

3. ලග්නාධිපතිගේ ප්‍රබලත්වය

විපරීත රාජ යෝගයකින් අතිවිශාල ධනයක් හෝ බලයක් හිමිවීමට පෙර පැමිණෙන විශාල කඩාවැටීම දරාගැනීමටත්, ඉන්සු ලැබෙන සාර්ථකත්වය රඳවා ගැනීමටත් ලග්නාධිපති කේන්දරයේ ඉතා බලවත්ව උච්ච, ස්වක්ෂේත්‍ර හෝ මිත්‍ර බලයෙන් යුතුව සුබ ස්ථානයක සිටීම අනිවාර්ය වේ. (ඔබේ ලග්නාධිපති සහ 6, 8, 12 ස්ථාන පිහිටීම බලාගැනීමට කේන්දර සටහන පරීක්ෂා කරගත හැක). ලග්නාධිපති දුර්වල නම් යෝගයේ ඵල භුක්ති විඳීමට ජන්මියාට මානසික හෝ ශාරීරික ශක්තියක් නොමැති වේ.

4. ද්විත්ව අධිපතිත්වය (ත්‍රිකෝණස්ථාන බලපෑම)

විපරීත රාජ යෝගය නියම ආකාරයෙන්ම ක්‍රියාත්මක වීමට නම් 6, 8, 12 අධිපති ග්‍රහයා කිසිවිටෙක කේන්දරයේ ත්‍රිකෝණස්ථානයක (1, 5, 9 භාවයක) සම අධිපතියෙකු නොවිය යුතුය. පරාශර නියමයන්ට අනුව, දුෂ්ට ස්ථානයකට අධිපති ග්‍රහයෙකුටම ත්‍රිකෝණස්ථානයක හිමිකමක්ද ලැබුණහොත්, ත්‍රිකෝණස්ථානයේ ඇති ප්‍රබල සුබදායක බව නිසා එම ග්‍රහයාගේ පූර්ණ දුෂ්ට ස්වභාවය අහෝසි වී යයි. එවිට යෝගයේ ඇති "විපරීත" (අනපේක්ෂිත කඩාවැටීමකින් පසු ලැබෙන විශාල ජයග්‍රහණය) බලය හීන වී, එය සාමාන්‍ය සුබ හෝ මිශ්‍ර ප්‍රතිඵල දෙන සාමාන්‍ය යෝගයක් බවට පත් වේ. (උදා: සිංහ ලග්නයට ගුරු 5 සහ 8 අධිපති වීම, මිථුන ලග්නයට සෙනසුරු 8 සහ 9 අධිපති වීම ආදියේදී නියම විපරීත බලයක් නොමැත).

එපමණක් නොව, මෙවැනි අවස්ථාවකදී අදාළ ග්‍රහයා (ත්‍රිකෝණාධිපතියා) 6, 8 හෝ 12 වැනි දුෂ්ට ස්ථානයක තැන්පත් වී හෝ දුෂ්ට බලපෑමකට හසුවී සිටින නිසා, එම ග්‍රහයාට හිමි ත්‍රිකෝණ ස්ථානයේ කාරකත්වයන්ද (උදා: 5 වැන්නට අයත් දරුවන් සහ උසස් අධ්‍යාපනය, 9 වැන්නට අයත් පෙර පින සහ භාග්‍යය වැනි සුබ ඵල) යම්තාක් දුරකට දුර්වල වීමකට හෝ අවහිරතාවන්ට ලක් වේ. එනම්, එහිදී විපරීත රාජ යෝගයකින් ලැබෙන ජයග්‍රහණයට වඩා, ත්‍රිකෝණ ස්ථානයට සිදුවන හානිය කැපී පෙනේ.

යෝගයේ සැබෑ රහස සහ ක්‍රියාත්මක වන කාලය (දසා කාලය)

මෙම යෝග තුනෙන් ඕනෑම එකකින් කෙනෙකුට සාර්ථකත්වය ගෙන දෙන්නේ ඉතාමත් විශේෂ ආකාරයකට වීම මෙහි ඇති සුවිශේෂීම රහසයි. විපරීත රාජ යෝගයක් ක්‍රියාත්මක වීමට පෙර, අදාළ පුද්ගලයාට ජීවිතයේ දැඩි වේදනාවක්, පරාජයක් හෝ සමාජය ඉදිරියේ විශාල කඩාවැටීමකට මුහුණ දීමට සිදුවේ. සමහරවිට තමන්ගේ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන්නට පුළුවන. එසේත් නැතිනම් තමන් වඩාත්ම විශ්වාස කළ අයගෙන් රැවටීම් වලට ලක්විය හැක. එහෙත් ඒ සියල්ල සිදුවන්නේ අලුත් ආරම්භයක් වෙනුවෙනි. එම බිඳවැටීමෙන් පසුව ඔවුන් නැගී සිටින්නේ අළු ගසා දමා නැගිටින ෆීනික්ස් කුරුල්ලෙකු සේ පෙර සිටියාට වඩා දස ගුණයකින් බලවත් වෙමිනි. එය සාමාන්‍ය මිනිසෙකුට සිතාගත නොහැකි තරමේ වේගවත් ඉදිරියට යාමකි. කෝටිපතියන් බිහිවන්නේ මෙවැනි අවස්ථා වලදීය.

එහෙත් ඔබ මතක තබාගත යුතු වැදගත්ම කරුණ වන්නේ, කේන්දරයේ හර්ෂා, සරලා හෝ විමලා යෝගයක් පිහිටා තිබූ පමණින් ජීවිත කාලය පුරාවටම එහි සුබ ප්‍රතිඵල ලැබෙන්නේ නැති බවයි. මෙම දැවැන්ත හැරවුම් ලක්ෂ්‍යය ඔබේ ජීවිතයට පැමිණෙන්නේ නිශ්චිත කාලසීමාවකදී පමණි. එනම්, මෙම යෝගය නිර්මාණය කිරීමට දායක වූ අදාළ ග්‍රහයන්ගේ "මහ දශාව" හෝ "අතුරු දශාව" ඔබේ ජීවිතයට උදාවන කාලයේදීය. එබැවින්, ඔබේ කේන්දරයේ 6, 8, 12 ස්ථාන වල ග්‍රහයන් පිරී සිටිනවා යැයි කිසිවිටෙකත් ළතැවෙන්නට එපා. සමහරවිට ඔබ මේ ගතකරමින් සිටින්නේ, ඉදිරියේදී පැමිණීමට නියමිත ඒ දැවැන්ත විපරීත රාජ යෝගය ක්‍රියාත්මක වීමට පෙර එන අඳුරු කාලපරිච්ඡේදය විය හැකියි.

ජ්‍යොතිෂය යනු බියවීමට ඇති දෙයක් නොව, ජීවිතය ජයගන්නට ඇති මාර්ගෝපදේශකයකි. නිවැරදි ජ්‍යොතිෂමය මගපෙන්වීමක් හරහා ඔබේ කේන්දරයේ ඇති මෙවැනි සැඟවුණු බලවේග හඳුනාගැනීමට අදම උත්සාහ කරන්න.

ඔබේ සැබෑ උපන් ලග්නය සහ කේන්දරය දැනගන්න කැමතිද?
උපන් වේලාව අනුව නිවැරදි කේන්දර සටහන සහ සම්පූර්ණ පලාපල නොමිලේම මෙතැනින් ලබාගන්න.
කේන්දරය සාදාගන්න
සියලුම ලිපි (All Articles)